Aug 30, 2010

භව පැවැත්මේ සැබෑ ස්වභාවය෴


අපට තියෙන අර්බුදය මොකක්ද? යථාර්ථයක් වශයෙන් අපිට මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා. සැප විඳිනවා.... දුක් විඳිනවා.... මධ්‍යස්ථ විඳීම විඳිනවා.... මේ හැමදෙයක්ම සත්‍යය වශයෙන් අපේ ජීවිතවල සිද්ධ වෙවී යනවා. අනිත්‍යය බවට පත්වීම කියන එක සිද්ධ වෙවී යනවා. නමුත් අපි මනසින් ගොඩනගා ගත්ත දේ, හිතේ මවාගෙන ඇළුම් කරන දේ ප‍්‍රායෝගික ජීවිතේ ලබන දේට වඩා වෙනස් එකක්. හැබැයි අපි ප‍්‍රායෝගික ජීවිතෙන් තමයි අර හිතින් මවාගන්න සුන්දරත්වයෙන් දකින දේ අත්දකින්න මහන්සි ගන්නේ. ඒක වෙන්නේ නෑ. නොවෙන්න නොවෙන්න මොකද කරන්නේ, තව තව මව මව ආසා කරනවා. ඒක නේද අපි කරන්නේ? මේක මෙහෙම වෙන්න වෙන්න, අපි මේක තේරුම් ගන්න පැත්තට යන්නේ නෑ. මව මව ආසා කරනවා. එක්කෝ ඒකෙන් පැනලා යන්න එක එක දේවල් කල්පනා කරනවා. අපි හිතින් මවන හඳුනාගන්න දේවල් මේ හැබෑවටම අත්දකින දේට ගලපා ගන්න දක්වන අසීරුකම තමයි අර්බුදය.

විදර්ශනාව කියන්නේ යමක තියෙන ස්වභාවය ඒ ආකාරයෙන්ම දැකීම. ඒ ආකාරයෙන් දකින්න මනස පුරුදු කරද්දී අපිට අපේ මනසේ ගොඩනගා ගත්තු හැඟීම්, මනසේ ගොඩනගා ගත්තු චිත‍්‍ර, මනසේ ගොඩනගා ගත්තු පින්තූරයි හැබෑවට දකින දේයි එකක් වුණොත් අමුතුවෙන් ඇලෙන්න කියලා, අමුතුවෙන් ගැටෙන්න කියලා කිසි දෙයක් ඉතුරු වෙන්නේ නෑ. මේ නිසා එතනට යන්න තමයි, යථාර්ථය හැටියට මේ සත්‍යය දේ දකින්න තමයි, හසුරුවන්න තමයි අපේ අදක්‍ෂතාවය තියෙන්නේ. ඉතින් ඒකට දක්‍ෂ වෙන්නේ ටික ටික පුරුදු කරද්දී.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කරන ලද ”භව පැවැත්මේ සැබෑ ස්වභාවය” සදහම් ග‍්‍රන්ථයෙනි


Aug 22, 2010

California මහමෙව්නාව අසපුවේ සමාරම්භක උත්සවය

ගෞතම බුදු සමිඳුන් ගේ උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචනයෙන්,
සැදැහැති දනන් ගේ සවන්පත් සනහාලන්නට,
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ ආශීර්වාදයෙන්...
California ජනපදයේ අභිනවයෙන් ස්ථාපිත වන
මහමෙව්නාව භාවනා අසපුව
විවෘත කිරීමේ සදහම් මංගල්‍යය..
අගෝස්තු මස 29 වැනි ඉරිදා
උදෑසන 10.30 සිට සවස 05.00 දක්වා..
අභිනව අසපු භූමියේ දී

ලිපිනය-

12089,
Loya River Ave,
Fountain Valley,
CA 92708





Aug 16, 2010

‘Siri Gautama Sambudhu Maha Saya’


‘Siri Gautama Sambudhu Maha Saya’


The Stupa being built to celebrate the 2600th Year of the Attainment of the Buddhahood of the Gautama Buddha

It is like the white colored mist roaming the surrounding freely trying to block the bluish clear sky while the glowing rays of the sun winning its battle with the darkness tries to come down from top of the beautiful range of mountains that are kissing the endless sky. Meanwhile, the Sakyamuni Bhagava’s astonishing Dhamma message transmitted from the meritorious premises, the Kundasale Mahamevnawa Monastery, spreads into the far space diminishing all other beauties of the surroundings. In fact, the monastery is an important icon of Dhamma for the people since its beginning of spreading the untainted Dhamma under the main guidance of Venerable Kiribathgoda Gnanananda Thero. Thus, the monastery has become a raft to cross the ocean of Samsara by freeing the innocent beings who are suffering from craving, sadness, frustration, and other stressful thoughts.

The foundation stone for the proposed Stupa to build in Kundasale Mahamevnawa Monastery premises was laid with the participation of Venerable Kiribathgoda Gnanananda Thero on 28th April, 2010. The Stupa named as ‘Siri Gautama Sambudhu Maha Saya’ is expected to adorn its pinnacle on the Vesak Poya day in 2011 ceremonially by commemorating the 2600th year of the attainment of the Buddhahood, the well-known ‘Enlightenment’ of the Gautama Sammyak Sambuddha. Building this Stupa was an idea of the Bhikkhus together with the chief resident Bhikkhu and the devotees of the monastery. Once the Stupa is completed, it will fulfill the only deficiency found in the premises to be a comprehensive Buddhist center for the homages.

The Kundasale Mahamevnawa Monastery was built up in a land donated with the precedence of the former minister of the agriculture and Mahaweli projects and the minister of the Health at present, Mr. Maitreeyapala Sirisena and other officials about five years ago. The monastery was first equipped with a small hall dedicated to alms-giving and few huts for the resident monks. At present, a massive hall with the capacity of holding over 4000 people has been added to the monastery with the generous donations of the wealthy community in the area, businessmen, and as well as the poor but devoted people who barely manage to find money for their day-to-day meals.

After a careful study about the art of Stupas in the Island as well as the Indian sub-continent and with the use of some of modern technical capabilities, the Stupa is designed to be built with a height of 104 feet. It also has a 64 feet diameter and cavity-type core, so that it looks dome-shaped from outside. A number of doctors (PhD) and professors in engineering from the country’s leading universities with vast experience on designing similar kinds of projects have participated in planning the Stupa.

The ‘Siri Gautama Sambudhu Maha Saya’ committee, which is consisted of a group of engineers and technical advisors, is also active with the intention of succeeding this program under the supervision of Venerable Kiribathgoda Gnanananda Thero and the governor of the Central province, Mr. Tikiri Kobbekaduwa. This Stupa is being built by the Central Engineering Consultancy Bureau under the technical supervision and audit of the said committee. The Stupa, ‘Siri Gautama Sambudhu Maha Saya’, which is consisted of the enshrined relics of the Exalted One and is being built to commemorate the 2600th year of the Gautama Buddha’s Enlightenment, is indeed dedicated to our great teacher, the Gautama Buddha.

Aug 8, 2010

කවුරු ද ලොව දැක ගත්තේ ඒ සම්බුදු සිරිසදහම්

ඔන්න කෙනෙක් ධර්මය හොයාගෙන එනවා. එයා ටික ටික ධර්මය ඉගෙන ගන්නවා. ඊට පස්සේ ධර්මය කියනවා. එයා පිරිසක් සංවිධානය කරනවා. පිරිසක් එක්ක ධර්ම මාර්ගයේ යන්න පෙළඹෙනවා. දැන් එයා දන්නෙම නැතුව ප‍්‍රධානියෙක් වුණේ නැද්ද? වුණා. ඒක තමයි ඊට පස්සේ එයාගේ අර්බුදය වෙන්නේ.

ඊට පස්සේ කලක් යනකොට එයා අත්නොහැරිය යුතු දේ අත්හැරලා... මොකක්ද ඒ? ධර්මය. ඇයි හේතුව, එයා ඒ එකක්වත් කළේ ධර්මය අවබෝධ කරන්න ඕන, ධර්මයට සළකන්න ඕන කියල නෙවෙයි. එහෙනම් ශාසනයේ පැවැත්ම තියෙන්නේ එක්තරා දෙයකට ගෞරව සම්මාන දක්වන තාක්. ඒ කුමක්ද? ධර්මය. ධර්මයට යම්තාක් ගෞරව සම්මාන දක්වයි ද, ධර්මයට යම්තාක් ප‍්‍රශංසා කරයි ද, එතෙක් සසුන බබලයි. යම් දවසක ධර්මය යටපත් වෙලා, පුද්ගලික චරිත උදෙසා අරගලයක යෙදෙයි ද, එදාට ධර්මය යටපත් වෙනවා.

එතකොට බලන්න කොච්චර සියුම් විදිහට ද මේ ධර්මය කරා අපට යන්න තියෙන්නේ? ඒකයි මේ ධර්මය අවබෝධ කරන්න අමාරු. ඇයි, ධර්මයට ඉස්සර වෙලා අපට එන්නේ මොනවද? පොල් ගෙඩියක් ගත්තොත් පොල් කිරිවලට ඉස්සර වෙලා අපට හම්බවෙන්නේ පොල් ලෙලි නේ... පොල් ලෙලි හම්බවෙලා, පොල් කටු හම්බවෙලා, අන්තිමට තමයි පොල් කිරි හම්බ වෙන්නේ.... ධර්මය කරා යන්න හදන කොටත් ඉස්සර වෙලාම අපට හම්බවෙන්නේ බාහිරව පේන දේවල් ටික. එහෙම වෙන්නෙ නැද්ද? එතකොට ධර්මය කරා යන්න නම්, මනුස්සයාට තියෙන්න ඕන ධර්මය ම අල්ලන්න පුළුවන් කුසලතාවය. ධර්මය අල්ලන්න පුළුවන් කුසලතාවය යම් දවසක ඇති වුණොත්, එදාට එයා ඒ ධර්මයේ කොටස් කාරයෙක් වෙනවා.



පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කරන ලද ”කවුරුද ලොව දැකගත්තේ - ඒ සම්බුදු සිරිසදහම්” සදහම් ග‍්‍රන්ථයෙනි

Aug 6, 2010

නුවණැත්තන් හට මෙලොවේ...1

කෙළවරක් නැති ලොවෙක පැටළුනු
විසඳුමක් නැති උපත සැකැසුනු
සිහිනයක් වැනි තැනෙක සිරවුනු
ජීවිතේ අරුතක් සොයන්නට....

බිඳ දමා කළු අඳුරු සෙවනැලි
උපදවා දෙන දහම් නෙතු යුග
අපට පෙන්වයි සදාකාලික එළියක්
සැබැවින් ම අපි පිනැත්තෝ වෙමු....

හිරු සඳුගෙ එළියටත් බොහො වැඩි
බුදු රජුගෙ ඒ අසිරිමත් නුවණමයි
අපට මාවත හෙළිකරන්නේ
අහෝ..! ඒ බුදුනුවණ අසිරියක් මැ යි...

------------------------------------

පින්වතුනි,

ඒ බුදු රජාණන් වහන්සේ වදාළ දේශනා අපි අසද්දී ඒ දේශනා අනුව අපේ ජීවිතය තේරුම් ගැනීම පිණිස, යම්කිසි උත්සාහයක් කරන්න ඕන. එහෙම උත්සාහයක් කරල ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. අන්න එතකොට තමයි අපට ඒ ධර්මයේ පිහිට තියෙන්නේ.

බුදු රජාණන් වහන්සේ ලෝකයට පහළ වීම නිසා අපට අපේ ජීවිතවල සැගවිච්ච ගුණධර්ම, ප්‍රකට නො වුන ගුණධර්ම, ප්‍රකට කර ගන්න, මතුකර ගන්න අවස්ථාව තියෙනවා. මනුෂ්‍යයන් අතර අපි ඉපදෙද්දී මනුෂ්‍යයන් හැටියට උපදවා ගන්න පුලුවන් විශේෂ ගුණ උපදවා ගැනීමේ වාසනාව ඇතුව තමයි මිනිස් ලෝකයට අපි ආවේ. ඒවා තමයි සිහිය, වීරිය, නුවණින් විමසීම, ඒ වගේ ම කරුණාව, මෛත්‍රී, ලෝභ නැතිකම, ද්වේෂනැතිකම, මෝහ නැතිකම මේවා උපදවා ගන්න පුලුවන්කමක් අපේ අභ්‍යන්තරයේ තියෙනවා. නමුත් අපි එහෙම තියෙන බව දන්නේ නෑ.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිද්දී ලංකාවේ මිනිස්සු හිටියේ ගස් ගල් අදහමින්. ඒ මිනිස්සු දන්නේ නෑ ඒ මිනිස්සු තුළ තියෙනවා කියල තමන් ගේ කුසලතා තමන්ට ම දියුණු කරගැනීමේ හැකියාව. මිහිඳු මහරහතන් වහන්සේ ඉර්ධියෙන් ලංකාවට වැඩියා. ඒ බව රජගල සෙල්ලිපියේ සඳහන් වෙනවා. ඉර්ධි කියල කියන්නේ මනුෂ්‍යයන් තුළ තියෙන විශේෂ කුසලතාවයක් ඉස්මතු කරගැනීම යි. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලාංකික ජනතාවට බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය කියල දුන්නා. ඒ ධර්මය තුළින් ගස් ගල් අදහමින් හිටිය මිනිස්සු අභිමානවත් ජාතියක් වශයෙන් නැගී සිටියා. ඒ සඳහා ඒ මිනිස්සු දියුණු කරගත්තේ තමන් තුළ තිබිච්ච ගුණ ධර්ම ම යි. තමන් තුළ සැගවිලා තිබිච්ච දේවල් තමයි දියුණු කර ගත්තේ. අපි තුළත් ඒ හැකියාවන් සැගවිලා තියෙනවා.

දැන් දුස්සීල කෙනෙක් සිල්වත් වෙනකම්ම දෙන්නේ නෑ, එයාට සීලය දියුණු කරන්න පුලුවන් බව. සිත විසිරෙන කෙනෙක් වීරය කරලා සමාධියක් ඇති කරගන්නා තුරු දන්නේ නෑ තමන්ට සමාධියක් උපදවා ගන්න පුලුවන් බව. නුවණින් විමසීම ඇති කරගන්න තුරු දන්නේ නෑ නුවණින් විමසන්න පුලුවන් බව.

අපි තුළ තිබෙන නො දන්නාකම නැති කරල, දන්න දකින අයෙක් බවට පත්වන්න පුලුවන්කම තියෙන්නේ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය නිස යි. බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය බබළන යුගවල දී, දැන් අනුරාධපුරය යුගය ගත්තොත් අපි අහල තියෙනවා අහස වැහෙන්න රහතන් වහන්සේලා අහසින් වඩිනවා කියලා. එබඳු යුගයක් තිබුණා. ඒ හිටියෙත් මිනිස්සු. දැන් ඉන්නෙත් මිනිස්සු. ඒ හිටපු මිනිස්සුන්ට තිබුණු හැකියාවන් දැන් ඉන්න මිනිසුන්ට ත් තිබෙනවා. නමුත් ඒ හැකියාව මතු කරන්නා වූ ධර්මය ඉදිරියට ආවේ නෑ. ඒ ධර්මය ඉදිරියට ආවාම අර හැකියාවන් ඉස්මතු වෙනවා. එහෙම නො වුනොත්, සම්පූර්ණයෙන් ම ඒ හැකියාව නැතිවෙලා යන්නට ඉඩ තිබෙනවා. බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය, අපේ ජීවිතයට සම්බන්ධ නැති, අපේ ජීවිතයට වුවමනා නැති, වැඩක් නැති, කල් පැනපු දෙයක් හැටියට සළකන්න ගියොත් අපේ ජිවිතයට කිසි ම දෙයක් ඉතුරු වෙන්නේ නෑ. ගුණ ධර්ම කිසි දෙයක් ඉතුරු වෙන්නේ නෑ.

ඒ නිසා පින්වතුනි, අපි ඒ බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය හොඳින් ඉගෙන ගනිමු. දහම් අවබෝධ කිරීමේ හැකියාව, බුදු සමිඳුන් ‍ගේ ධර්මය තුළින් ඉස්මතු කරගනිමු. ඒ සඳහා ඔබට වාසනාව උදාවේවා.

+----------------------------
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ "නුවණැත්තන් හට මෙලොවේ දකින්ට පුළුවනි සදහම්" දහම් ග්‍රන්ථය ඇසුරිනි.
++----------------------------

Jul 31, 2010

යුගයේ අසිරිමත් බුද්ධෝපස්ථානය



රුවන් මනු දම් අමා ගඟුලින් - රුවන් දේශය පිනෙන් පිරුනා
රුවන් මෙහෙවර පුරන දස වස - රුවන් මිණිකැට සහස් දිලුනා
රුවන් මිනිසත් බවේ සුවඳින් - රුවන් පුරයම සුවඳ කෙරුනා
රුවන් බුදු පුතු අතින් පින්බිම - රුවන් යුගයක් අකුරු කෙරුනා

1999 වසරේ නිකිණි මහේ උදාවුන තවත් පින්බර දිනයක සකළ දෙව් මිනිස් ප්‍රජාවගේ අපමණ හිතසුව පිණිසම වූ යෝධ යුග මෙහෙවරක මංගල ශිලාවයි ප්‍රතිස්ථාපනය වන්නට යෙදුනේ. පොල්ගහවෙල වඩුවාවේ කැන්දගොල්ල වත්තේ එදා ඒ ලෙසින් සුභ මුහුර්තයෙන් අස්වද්දනට යෙදුනු පුරන්ව පැවති හෙළ දහම් කෙත අද ලොවක් නිවා සනහාලමින් පින් අස්වනු බෙදා දෙන්නේ ඒ සුවඳවත් මනුෂ්‍යත්වයේ අසිරිය ලොවට කියාපාමිනි. පානා සුමිහිරි අඬහැරයෙන් දැනෙනා හානා හීයට රොක්වූ ගෞතම බුද්ධ රාජ්ය්‍යයේ සැදැහැති උවැසියන් පෙරටුව ගලා හැලෙනා මේ යුගයේ අසිරිමත් පුණ්‍යමය ගංගාවන් රත්වී ගිනි ගන්නා ලෝ තලය අමා සිසිලෙන් නිවා සනහන්නේම ය.

දිගු ඉඩෝරයෙන් විඩාපත් වූ හෙළ සදහම් අරණට යළි අමා වැසි රැගෙන ආ ඒ මහා මේඝ වළාව.... 'මහමෙව්නාව'
දස වසරක අමිල මෙහෙවර සමඟින් මිනිසත් බවේ ගුණ සුවඳ හෙට ලොව වෙත දායාද කරනු වස් මානව දයාවෙන්, මනුකැළ වෙත පිදෙන, මනුෂ්‍යත්වයේ සොඳුරු මල්දම…. 'කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි පදනම'

"යෝ භික්ඛවේ, මං උපට්ඨහෙය්‍ය, සෝ ගිලානං උපට්ඨහෙය්‍ය.."

දසවස් සපුරන මහමෙව්නාවේ බුද්ධෝපස්ථාන වර්ෂය වෙනුවෙන් මේ සොඳුරු සුසංයෝගය සිදු කරලන්නට යෙදුනු උතුම් බුද්ධෝපස්ථානයන් මෙන්ම රැස් කරගන්නට යෙදුන පුණ්‍යධර්මයන් ද නොහිම් ය. ලොව රජ කරනා තොටිල්ල පදවන ඒ උත්තම දෑතට නිබඳ සවියක්ම වන්නට දැයේ සුවහසක් මව්වරුන් වෙනුවෙන්ම, ජාතියේ හෙට දවස සුවඳවත් කරනා සුවපත් දරු කැළක් වෙනුවෙන්ම, පිනෙහි අගය දත් ගෞතම බුද්ධ රාජ්ය්‍යයේ සැදැහැවත් ගිහි පැවිදි සුපින්වතුන් විසින් සිදුකර ගන්නට යෙදුන යුගයේ අසිරිමත් බුද්ධෝපස්ථානමය පුණ්යිකර්මයයි මේ.

මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ ධුරන්දර පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහ්නසේ ගේ කරුණාබර මඟ පෙන්වීම යටතේ, රුපියල් ලක්ෂක 250ක පමණ වියදමින්, දරුවකු මව් කුස හිඳිනා දස මසක් වැනි කෙටි කලකින් මේ සුවිසල් උදාර පුණ්‍ය කටයුත්ත අති සාර්ථකව නිමවා සුමන සමන් දෙව් අඩවියේ පිනැති මනුකැළ වෙත පින් සිතින් පුද දෙනු ලැබිනි.

එම ගැබිනි මව්වරුන් සඳහා වූ නවීන පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ දෙමහල් නේවාසික ශාලාව රත්නපුර රෝහල් පරිශ්‍රයේ දී පසුගිය 29 වනදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන්, ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයන් මධ්‍යයේ ජනතා අයිතියට පත්කෙරුණු සුපින්බර ඓතිහාසික මොහොතයි මේ.....


May 29, 2010

මේ අප බෝසත් සමිඳුය...

සියපින් සිරිසාර ගුණෙන් පෙරුම් පුරා වඩිනා...
අපමණ දුක් වෙහෙස දරා ලොවට ‍සැපත සදනා..
නොවෙනස් පැතුමක් පෙරටුව හද මඩලෙහි රැ‍‍ඳෙනා..
කවුද කියන් වඩිනා මේ පින්වත් මහ මුනිඳා...
මේ අප බෝසත් මුනි‍ඳුය සම්බුදු බව පතනා..

පෙරුම් දම් පුරා සතුටින් තුසිත ලොවේ සිටිනා...
පස්මහ බැලුමන් බලමින් මනුපියසට වඩිනා...
ලුම්බිණි සල් වනයේ දී සල් කුසුමන් පිපෙනා...
වැඩි පින්වත් පුතා කවුද සත් පියවර තබනා...
මේ අප බෝසත් සමිඳුය සම්බුදු බව පතනා...

උතුරා දරු සෙනෙහස එහි බලා සිටින අම්මා...
අල්ලා සල් අත්ත හොදින් හිනැහෙනවා අම්මා...
ඇවිදින බුදු පුතුන් බලා සෙත්පතනා අම්මා...
කවුද කියන් සතුටු පිරුණු මේ බෝසත් අම්මා...
මහමායා බිසොවයි මේ අප මුනිඳුගෙ අම්මා...

දෙව් බඹ පිරිසක් ඇතිදින් අහසේ වැඩ සිටිනා...
සිගිති පුතුට රැකවල් දෙන සුදු සේසත් දරනා...
දකුණත ඔසවා අහසට මිහිරි සරින් කියනා...
කවුරුද මේ සිගිති පුතා සිහනද පතුරුවනා...
මේ අප බෝසත් සමිඳුය සම්බුදු බව පතනා...

ලෝ සත විදිනා දුක දැක හද කම්පා වෙමිනා...
රහල් පුතුද බිම්බාව ද දෙස බලමින් වඩිනා...
සතහට සෙත් සදන සිතින් අබිණික්මන් කරනා...
මේ යොවුන් වීරයා කවුරුද අසෙකු පිටින් වඩිනා..
මේ අප බොසත් සමිදුය සම්බුදු බව පතනා...

ශ්‍රමණ වෙසක් ගෙන වනයේ ඝෝර තපස් රකිනා...
කුසට අහර නො ගෙන නිතින් වෙර විරිය වඩනා..
ඇට පෑදී ගිය සිරැරින් පෙර මගට ම වඩිනා...
මේ විස්මිත මුනිදු කවුද අමා නිවන සොයනා...
මේ අප බෝසත් සමිඳුය සම්බුදු බව පතනා...

වළදා කිරි පිඩුද එදා නදියෙන් ගොඩ වෙමිනා...
බෝසෙවනේ සිසිල මතින් කුස තණ අතුරමිනා..
එළා සගල සිවුර සොදින් ඒ මත වැඩහිදිනා...
කවුරුද මහ සමණිඳු මේ විදුරසුනේ සිටිනා...
මේ අප බෝසත් මුණිඳුය සම්බුදු බව පතනා...

කලුවර විය අහස් කුස ම විදුලි කෙටිලි දිලෙනා...
ඇතෙකු පිට නැගී මරු එයි සේනාව ද රැගෙනා...
වටකොට මේ සමිඳාණන් හිරි හැර වද කරනා...
මහා වීර මුනිඳු කවුද මෙහි නො සැලී සිටිනා...
මේ අප බෝසත් මුණිඳුය සම්බුදු බව පතනා...

බැහැර කරන්නට මුනිඳු ව මරුව‍ මොර දී එන්නේ...
සේනාවන් වටකරගෙන බුදු මග වලකන්නේ...
මුනිදුන් දකුණත තබමින් මිහිකත අමතන්නේ...
මේ එඩිතර මුනිඳු කවුද මිහිකත හඩවන්නේ...
මේ අප බෝසත් මුනිඳුය විදුරසුනේ ඉන්නේ...

වසවත් මරු බියපත් වී පැරද පලා යන්නේ...
දසබිම්බර මාර සෙනග දසඅත විසිරෙන්නේ...
මුනිඳුට ජය අත් වෙනවා දෙවියන් තුටු වන්නේ...
ලොව දිනනා මුනිඳු කවුද ජය පිට ජය වන්නේ...
අප ගේ ගෞතම මුනිඳු ය විදුරසුනේ ඉන්නේ...

දෙව්ලොව දෙවියන් සතුටින් දිවසලු සොලවන්නේ...
මුනිඳු ගෙ ජය ගැන කියමින් දිව මල් වගුරන්නේ...
බෝසෙවනේ සිටි මුනිඳුන් මැදුම් මගේ යන්නේ...
මේ විස්මිත මුනිඳාණන් කවුද කියාපන්නේ..
මේ අප ගෞතම මුනිඳුය බුදු වෙන්ට යි යන්නේ...

පෙරයම ගෙවෙනා විට සිත හොදින් එකග වන්නේ...
සසරේ ගත‍කළ දිවි මග එකිනෙක සිහි වන්නේ..
ගෙවුනු අතීතය දකිනා නුවණකි මතු වන්නේ...
මහා නුවණැති මුනිඳු කවුද විදුරසුනේ ඉන්නේ...
මේ අප ගෞතම මුනිඳු ය බුදු වෙන්ට යි යන්නේ..

ලෝ සත ඉපදෙන මැරෙනා අයුරුය විමසන්නේ...
කළකම් පළ දෙමින් සතුන් සසර පුරා යන්නේ...
භවයෙන් ගොඩ එන්නට බැරි ලෝ සත දකිමින්නේ...
මහා නුවණැති මුනිඳු කවුද දිවැස් ලබා ගන්නේ...
මේ අප ගෞතම මුනිඳු ය බුදු වෙන්ට යි යන්නේ...

හේතු සකස් වෙන විට ලොව දුක ම යි සැකසෙන්නේ...
ඒ හේතුන් නැති වෙන විට දුක නැති වී යන්නේ...
දුකේ හේතු නසන මුනිඳු දුකින් මිදී ගන්නේ...
මහා නුවණැති මුනිඳු කවුද නිවන යි ලැබ ගන්නේ...
මේ අප ගෞතම මුනිඳු ය බුදු බව ලැබ ගන්නේ..

වෙසගේ සද රැස් දහරින් සිසිලස පතුරමිනා...
බෝ පත් සැලෙමින් මුනිඳුට සෙවනැලි සුව සදනා...
අමා නිවන් ‍සුව විදිමින් සුව සේ වැඩ හිදිනා...
කවුරුද මේ මුනිඳාණන් බුදු රැස් විහිදුවනා...
අප ගෞතම මුනිඳු ය මේ සම්බුදු බව ලබනා..
අප ගෞතම මුනිඳු ය මේ සම්බුදු බව ලබනා...
අප ගෞතම මුනිඳු යි මේ සම්බුදු බව ලබනා...

පූජනීය පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ගේ රචනයකි..

May 28, 2010

නමාමි මං නමාමි..

තිලොව සෙත සැළසීමෙන් - භව දුකට පිහිට වීමෙන්
දහම් ඝොස පැතිරීමෙන් - මොහඳුර නසා ලීමෙන්
අම නිවන් සළසාලූ - දම් රජාණන් වහන්සේ
සිහි කොට උතුම් සරණ මම් - ධම්මරාජා නමාමි

නිල්වන් පත් සැළීමෙන් - මුනිඳුට සෙවන දීමෙන්
තිලොව දිනන මොහොතේ - බුදුරැස් සිරි ලැබීමෙන්
දිවමන් මුනිඳු වැනි වූ - බෝ රජාණන් වහන්සේ
සිහි කොට බැති සිතින් මම් - බෝධිරාජා නමාමි

මර සෙනඟ පැරදීමෙන් - මුනිඳුට ජය ලැබීමෙන්
කෙලෙසුන් රහිත වීමෙන් - බුදු නුවණ මතුවීමෙන්
සම්බුදු බවට පත් වූ - පින්සරාණන් වහන්සේ
සිහි කොට උතුම් සරණ මම් - භගවතාණන් නමාමි

කිසිවකට නොසැලීමෙන් - වීරිය ම මතු වීමෙන්
නිවනට දිවි පිදීමෙන් - විදුරසුන් මත හිඳීමෙන්
වසවත් මරුන් පැරදූ - වීරයාණන් වහන්සේ
සිහි කොට උතුම් සරණ මම් - ඒ විදුරසුන නමාමි

වෙසක් සඳ මතු වීමෙන් - බුදු සිරුර බැබලීමෙන්
තුන් ලොව ජය ගැනීමෙන් - දෙව් බඹුන් පැමිණීමෙන්
යමා මහ පෙළහර පෑ - මුනිරජාණන් වහන්සේ
සිහි කොට උතුම් සරණ මම් - බුද්ධරජා නමාමි

මහ බඹු ද පැමිණීමෙන් - බණට ඇරයුම් ලැබීමෙන්
බරණැස මිගදායේ - දම්සක කරකැවීමෙන්
සිහනද පතුරාලූ - සිහරජාණන් වහන්සේ
සිහි කොට උතුම් සරණ මම් - ධම්මරාජා නමාමි

දඹදිව සැරිසැරීමෙන් - හැම දෙනට පිහිට වීමෙන්
මහා කරුණාව පෑමෙන් - දුක් තැවුල් දුරු කිරීමෙන්
ලොව සැපත සළසාලූ - බුදුරජාණන් වහන්සේ
සිහි කොට මේ වෙසක් දා - කාරුණිකයන් නමාමි

කෙළෙස් මළ සේදීමෙන් - අවබෝධය ද දීමෙන්
සසරින් ගොඩ දැමීමෙන් - නිවනෙහි පිහිටුවීමෙන්
මිහිරි දම් රස විහිදූ - දම් රජාණන් වහන්සේ
සිහි කොට උතුම් සරණ මම් - ධම්මභාණී නමාමි

භගවත් මුනිරජුන්ගේ - ශ‍්‍රාවක පිරිස වීමෙන්
නිවන් මඟ හැසිරීමෙන් - මගඵල පසක් වීමෙන්
ධම්මදායාද කරගත් - ගුණ පිරි සඟුන් වහන්සේ
සිහි කොට උතුම් සරණ මම් - පුඤ්ඤඛෙත්තං නමාමි

සැමට සෙත සැළසීමෙන් - බුදු සසුන් බැබලීමෙන්
දෙව් බඹුන් එක්වීමෙන් - පින ම ඉස්මතු වීමෙන්
අප හට සැපත සැළසූ - ගෞතම බුදුන් වහන්සේ
සිහි කොට අත් මුදුන් දී - නමාමි මං නමාමි

පූජනීය පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ගේ රචනයකි..
 
  • New Publications
  • Image Gallery
  • Quick Links
  • Ama Wessa
  • Dhamma Books
  • Meditation Centers
  • Dhamma Programs
යසෝදරා කාව්‍ය සංග්‍රහය එළි දැක්වීම
යසෝදරා කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමපෑව සෙනේ ලොව සිහින කුමාරිය-ඔබ මිස වෙන නැති යසෝදරා" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමට සමගාමීව, මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවේ පැවති පෝදින සදහම් වැඩසටහනේ ‍සොදුරු දසුන් කිහිපයකි මේ..
මහා විහාර‍යේ ස්වර්ණමාලී සෑ රජුන්
මහා විහාර‍යේ ස්වර්ණමාලී සෑ රජුන්අනුරාධපුරයේ අසදිස ස්වර්ණමාලී මහසෑ රජුන්ගේ අනුරුවක් ලෙස ඉදිකළ, මාතර, උඩඅපරැක්ක, මහමෙව්නාව මහාවිහාර භූමියේ විරාජමානව වැඩසිටිනා, ස්වර්ණමාලී මහසෑ රජුන්ගේ අසිරිමත් දසුන්ය මේ..
උපසම්පදා පුණ්‍යෝත්සවය
උපසම්පදා පුණ්‍යෝත්සවය2009 වසරේ මැයි මස 18, 19, 20 යන තෙදින පුරා මාතර, උඩඅපරැක්ක, මහමෙව්නාව මහාවිහාරස්ථ සීමාමාලකයේ දී පවත්වන්නට යෙදුනු උපසම්පදා පු‍ණ්‍යමහෝත්සවයේ දසුන් කිහිපයකි මේ.
කැළණි මහ සෑ වන්දනාව (පෙබරවාරි 14)
කැළණි මහ සෑ වන්දනාවඅයාලේයන තරුණ ජීවිත සදහම් මාවතට යොමු කිරීම අරමුණු කර ගනිමින්, 2010 පෙබරවාරි මස 14 වැනි දින ‍‍‍ඓතිහාසික කැළණිය මහ සෑ රජුන් අභියස දී අතිවිශාල තරුණ සහභාගිත්වයකින් යුතුව පැවති සදහම් වැඩසටහනේ දසුන් කිහිපයකි මේ.

ධර්ම දේශනා

This text will be replaced by the flash music player.

සූත්‍ර දේශනා

This text will be replaced by the flash music player.

පිරිත් දේශනා

This text will be replaced by the flash music player.

Mahamevnawa Monastery Copyright © 2010
BeMagazine Blogger Template is Designed by Blogger Template
In Collaboration with fifa

Back to Top